ඉස්සර මං ගිය පාසල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනි වී එනවා
ගහකොල සෙලැවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුණා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුස ගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳුණු දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවා වී පාසල් යන්නේ
මා දැයි නිකමට මට හිතුනා
No comments:
Post a Comment